
රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයන් තිදෙනෙකු විසින් අයි.පී.එල්. තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් මේ වන විට මහත් ආන්දෝලානාත්මක තත්ත්වයක් මතුවී තිබෙන අතර, මුදල් වලට අමතරව බුකීකරුවන් විසින් මෙම ක්‍රීඩකයන් ට ගැහැණුන් ද සපයා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙම ක්‍රීඩකයන් හා බුකීකරුවන් අතර පැවැති දුරකථන සංවාද වලින් මේ පිළිබඳව හෙළිවී තිබෙන බවත්, පොලිසිය විසින් එම සංවාද පටිගත කර ඇති බවත් එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.
මානන් හා චාන්ද් නැමැති බුකීකරුවන් දෙදෙනා විසින් මෙලෙස ශ්‍රීශාන්ත් හා අජිත් චන්ඩිලා වෙත තෙවරකට වඩා ගැහැණුන් සපයා ඇතැයි මේ වන විට හෙළි වී තිබේ.
මීට අමතරව, මෙම තරග පාවාදීමට සම්බන්ධ නොවන තවත් ක්‍රීඩකයෙකුට මෙම බුකීකරුවන් විසින් ගැහැණුන් සපයා ඇතැයි එම මාධ්‍ය වාර්තා වල දැක්වේ.
ඊයේ (16) ශ්‍රීශාන්ත් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත්තේ ද ගැහැණියෙකු සමග මුම්බායි හෝටල් කාමරයක සිටින විටදීය.
සුප්‍රකට බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටි හිමිකාරීත්වය දරන රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ ශ‍්‍රීශාන්ත්, අන්කීට් චවාන් සහ අජිත් චන්ඩිලා යන පන්දුයවන්නන් තිදෙනා අයි.පී.එල්. තරගාවලියේදී මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ඊයේ අළුයම කාලයේ දී පොලිස් අත්අඩංගුවට පත්විය.
තරගයේ අවස්ථා මුදලට පාවාදීම වෙනුවෙන් එක් ක‍්‍රීඩකයෙකුට ඉන්දියානු රුපියල් ලක්‍ෂ 60ක් පවා ගෙවීමට බුකිකරුවන් එකඟතාවය පළ කර ඇති බවට තොරතුරු හෙලිවී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
ක්‍රීඩකයන් සමග බුකිකරුවන් 11දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉක්මනින්ම මොවුන්ගෙන් ප්‍රශ්ණ කිරීම ආරම්භ කරන බව ඉන්දීය පොලිසිය එරට මාධ්‍ය වලට පවසා තිබේ.
මේ වන විට ද ඉහත ක‍්‍රීඩකයින්ට තාවකාලික තරග තහනමක් පැනවිමට සහ අයි.පී.එල් තරගාවලියෙන් ඉවත් කිරීමටද ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ඔවුන්ට එරෙහිව චෝදනා ඔප්පු වුවහොත් මෙම ක‍්‍රිඩකයින් තිදෙනාට ජිවිතාන්තය තෙක් තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වල වැඩිදුරටත් දැක්වේ.